දවසක්දා මම කල්පනා කලා.
මට කරන්න වැඩක් තිබුණෙ නැති හින්දා කල්පනා කලේ. කරන්න වැඩ තිබුණ කියලත් ඉතින් වැඩි වෙනසක් නෑ. මම වැඩියෙන්ම කරන්නෙ කල්පනා කරන එක තමා. මම ඉස්සර අම්මාට කියනව මට කසුනි නැතුව කල්පනා කියල නම දැම්මනං හොඳයි කියල. ඒත් ඒක එච්චර බුද්ධිමත් වැඩක් නෙමෙයි කියල මට පස්සෙ තේරුම් ගියා. මොකද, කල්පනා කිව්වම හිතේ මැවෙන්නෙ දිග කොණ්ඩයක් තියෙන, කණ්ණාඩි දාන ගෑනු ළමයෙක්. මගෙ කොණ්ඩෙ දිගත් නෑ. මම කණ්ණාඩි දාන්නෙත් නෑ. හැබැයි ඉතින් බැරිවෙලාවත් මගේ නම කල්පනා වුණානම් මට කහ පාට රාමුවක් තියෙන කණ්ණාඩි දෙකක් දාන්න තිබ්බා. කොණ්ඩෙ දික් කරන්නත් තිබ්බා.
හරි දැන් කල්පනා ගැන හිතුවා ඇති.
ඉතින් කොහොමහරි මම දවසක්දා කල්පනා කලා. පොඩ්ඩක් ඉන්න, කල්පනා කරන එකත් එක්තරා විදියක වැඩක් තමයි. කල්පනාව නැතුව කිසි වැඩක් හරියට කරන්න බෑ කියල අම්මත් කියනව. එතකොට එදා මම වැඩක් නැතුව නෙමෙයි ඉඳලා තියෙන්නෙ. කල්පනා කරනව කියන වැඩේ කර කර හිටියෙ. ඒකත් හොඳයි.
හරි ඉතින් මම එදා කල්පනා කර කර හිටියා.
කල්පනා කලේ අපේ මිදුලෙ තියෙන වෙරළු ගහ යට ගලක් උඩ ඉඳගෙනයි. කාලෙකට ඉස්සර අයියටයි මටයි රිදී කාසියක් හම්බවුණා. ඒකෙන් බිත්තිය සීරුවාම රිදී පාට ඉරක් හිටිනවා. අපි ඒක එක එක තැන්වල නිධන් කලා. එක එක තැන් කියන්නෙ, අද වළලපු තැනින් හෙට ගොඩ ගන්නවා. වෙන තැනක වළලනවා. එහෙම.. ඉතින් අන්තිමට අපිට වළලපු තැන අමතක වෙනකම්ම මේ නිධන් ගොඩ දැමිල්ලයි හෑරීමයි කරගෙන ගියා. අවසානෙදි කාසිය නැතිවුණා. හැබැයි මේ වෙරළු ගහ යට පරික්ෂා කරන්න අමතක වුණා. හාරල බලන්න ඕනෙ.
ඒත් වෙරළු ගහ යට ඉඳගෙන මම කල්පනා කලේ කල්පනා කියන නම ගැනවත්, කහපාට කණ්ණාඩි ගැනවත්, දිග කොණ්ඩෙ ගැනවත්, වෙරළු ගහ ගැනවත්, නැතිවෙච්ච කාසිය ගැනවත් නෙමෙයි. ඇත්තටම මම කල්පනා කලේ මොකක් ගැනද කියල මටත් මතක නෑ. ඒක මතක් වුණාම ඉතුරු ටික ලියනව.


No comments:
Post a Comment