Sunday, April 2, 2017

Bizarre මකනය

මේ දිනවල මගේ හිතට බෙහෙවින් පීඩා ඇතිකරන එක්තරා දෙයක් වෙයි. එය මකන කෑල්ලකි. 
මීට වසර දෙක හමාරකට පමණ පෙර මගේ මකනය නැති විය. මා එය දැනගත්තේ එක්තරා විභාගයකට යාමට සූදානම් වෙමින් ඉන්නා මොහොතකය. එම විභාගයට පැන්සල භාවිතා කරමින් ප්‍රස්තාර ඇඳීමට තිබුණු නිසා වැරදුණොත් මැකීමට මකනයක් වුවමනා වේ. එබැවින් විභාග මධ්‍යස්ථානයට යන අතරමඟදී විජේරාම හංදියේ බැන්ටම් නම් පොත් කඩෙන් මකනයක් මිළදී ගන්නට සිදු විය. 

බැන්ටම් පොත්හල ගැන දන්නෝ දනිති. එහි අයිතිකරු හාෆ් ෂීට් එකක් විකුණන්නේද කොට්ලර්ගේ අලෙවි කළමණාකරණ පොත දිය කර පානය කල අයෙකු විලසිනි. එම මකනයෙන් මැකීමෙන් මා එම විභාගය ඉතා ඉහළින් සමත්වීමේ සම්භාවිතාවය ඉහළ යන බව විවිධ කරුණු ගෙනහැර පා දක්වමින් බැන්ටම් අංකල් මට ඒ මකනය වික්කේය. මා කල්පනා කරමින් සිටියේ කඩයේ නම බැන්ටම් වීමට හේතුවයි. සම්භාවිතාවය කෙසේ වෙතත් මම යන්තම් ලකුණු 53 ක් ගෙන එම විභාගය සමත් වී තිබීම ගෙදර කාගෙත් විස්මයට හේතු විය. එය කෙසේ වත් සිදු නොවිය හැකි සංසිද්ධියක් බවත්, ෂුවර් එකටම මගේ ප්‍රතිඵල වෙනත් සිසුවෙකුගේ ප්‍රතිඵලවලට මාරු වී, වැරදීමකින් මා සමත්වූ බවත් තරයේ විශ්වාස කල අප්පච්චී ප්‍රතිඵල නැවත සමීක්ෂණය කල යුතු බව කියා සිටියේය. දින කිහිපයක ඇවෑමෙන් ඔහුට 'නැවත සමීක්ෂණ කතන්දරේ' අමතක වුණේ මකනයේ වාසනාවට විය හැකිය.

කොහොම වුණත් මම ඒ මකනයට ප්‍රිය නොවූයෙමි. එයට හේතු තුනකි.
01. මකනය රෝස පාට වීම
'රෝස' කැත පාටකි. ඒත් මම සැමන් පින්ක් කියන පාටට කැමතිය. මකනය සැමන් පින්ක් නොව කැස්ස හැදුණාම හපලා කන්න කියා දෙන ජරා බෙහෙත් පෙත්තේ පාට ය.
02. මකනය රවුම් වීම
මලක හැඩය ගත් මකනය අවුරුදු දෙක හමාරක් තිස්සේ මැකීමෙන් රවුම් වී දාර පැන්සල් කුඩු නිසා අළු පැහැති වී ඇත. 
03. එම මකනය කෙසේ වත් නැති නොවීම
මේ තෙවන කරුණ නිසා මම දැඩි පීඩාවට පත් වී හිඳිමි.

අවුරුදු දෙක හමාරක් තිස්සේ එකම මකනයකින් මැකීමේ වරදක් නැත. ඒත් එය එපා වෙන වැඩකි. පොත් කඩවල විකිණීමට තබා ඇති නා නා මාදිලියේ අලුත් ලස්සන මකන දුටු විට එපා වීමට හේතුව ඔබට පසක් වනු ඇත. කොහොම වුණත් ප්‍රධානම හේතුව නම් මට මෑතක සිට සරසවි බුක් ෂොප් එකේ විකිණීමට ඇති ස්පොන්ජ් බොබ් මකනයකට හිත වැටීම යි. ඒ පොත් කඩේට යන හැමදාම ස්පොන්ජ් බොබ් මකනය දෙස බලා සතුටු වී, ගෙදර ඇති කැස්ස බේත් පෙත්තේ පාට මකනෙට ද්වේශ කරමි.

කැස්ස මකනය නැති කර ගැනීමට විවිධ ක්‍රම අත් හදා බැලූයෙමි. 

වරක් පන්තියේදී මකනය හිතා මතා බිම වට්ටා නොදැක්ක විලස පාඩම වෙනදාටත් වඩා උනන්දුවෙන් අසා සිටියෙමි. එවිට පිටුපස පේළියේ සිටි ත්‍රිකුණාමලයේ සිට පන්ති එන ළමයා මකනය අහුලා මා අතට පත් කළේය. දෙතුන් වරක්ම මෙය සිදුවීමෙන් පසුව මට වැටහී ගියේ ඒ ළමයා පන්ති එන්නේ මකනය සොයා මට දීමේ කර්තව්‍යය සඳහා බවයි. තවත් වරක් කවුරුත් නැති වෙලාවක් බලා මකනය කුණු කූඩයට දැමුවෙමි. දින දෙකකට පසු පොඩි අත්තා එය සොයා ගෙනැවිත් මගේ පොත් මේසය මත තැබුවේ "ෂෝක් මකනෙ.. අපරාදෙ නැති කරගන්න එපා.." කියමිනි. අනතුරුව මම වරක් මකනය බසයේ ජනේලයෙන් පිටතට වීසි කළෙමි. කරුමෙට එය පාර අයිනේ සිටියෙකු විසින් අල්ලා නැවතත් මට භාරදෙන ලදී. මට සිතුණේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රකින්නට යා යුතු බවයි. කරන්නට දෙයක් නැතිම තැන මම මකනය ඇඳ යටට වීසි කළෙමි. පසුව මට එය අමතක විය. 

පසුගිය දා මට නැවතත් ප්‍රස්තාරයක් අඳින්නට සිදු විය. පණ්ඩිතකම් කෙසේ  වෙතත් ප්‍රස්තාරය අඳිද්දී මට වැරදුණි. මකනය වුවමනා විය. පරණ මකනයෙන් ගැලවීමට කොපමණ වුවමනා කලත් අලුත් මකනයක් ගැනීමට මට අමතක වී ගොස් තිබුණි. එබැවින් පරණ මකනයේ අගය වැටහෙන්නට විය. හදිසියේම මකනය තවමත් ඇඳ යට තිබිය හැකි බව මතක් විය. දණ බිම ඔබා ඇඳ යටට නැවී මකනය සෙව්වෙමි. ඇඳ යට කොනක දූවිලි අස්සෙන් මිණි කැටයක් බඳුව මකනය දිලුණේය. බඩගා ඇඳ යටට දෑත යොමා මකනය ආදරයෙන් දෝතට ගත්තෙමි. කුණු දූලි පිස දමා වැරදුණු පැන්සල් ඉර මැකුවෙමි. ඉස්සර වගේම යසට මකනය පැන්සල් ඉර මැකුවේ කිසිදු මැසිවිල්ලක් නැතිවය. 

No comments:

Post a Comment